පැල්මඩුල්ල ප්‍රාදේශීය සභාවේ පිදිය යුතු තැන්

ඓතිහාසික ගනේගම (අරමණපොල විහාරය) රාජමහා විහාරය

රත්නපුර පැල්මඩුල්ල මාර්ගයට මුහුණලා කුඩා කඳු ගැටයක් මත පිහිටි ගනේගම රාජමහා විහාරය ස්වභාවධර්මයේ විශිෂ්ඨතම නිර්මාණයකි. කිරිබත්ගල කඳු ශිඛරයටත්, කුට්ටාපිටිය කඳු ශිඛරයටත් මැදිවපිහිටා ඇති හෙයින් මෙම විහාරය පිහිටා ඇති ප්‍රදේශය දෙනවක මිටියාවත වශයෙන් ද හදුන්වයි. මහනුවර යුගයේ ලිය වී ඇති ‘‘විහාර අස්නෙහි‘‘ දෙනවක නාමයෙන් ද, පොලොන්නරු යුගයේ සිටම මෙම ප්‍රදේශය දෝණවක්ක (දෙනවක) යනුවෙන් හදුන්වා ඇත.
පොලොන්නරුවේ රජකල පළමු වැනි පරාක්‍රමබාහු රජ දවස බලසේනා කඳවුරක් තිබූ බව හා පෘතුග්‍රීසි සෙන්පති අසවේදු විසින් මෙම ස්ථානයේ දෙනවක බල කඳවුර ගොඩනගාගත් බවට ද ඓතිහාසික තොරතුරු ඇත. කෝට්ටේ රජකල හයවන පැරකුම්භා රජු දවස ගම්වර පූජා කිරීමේ සන්නසෙහි ‘‘අරමණපොල විහාරය‘‘ ‘‘අරමණපොල වෙල්යාය‘‘ ‘‘ගනේගම වෙල්යාය‘‘ යනුවෙන් වැකි සඳහන් වී ඇත.
ක්‍රි:ව 1505 දී මෙරටට සේන්දු වූ පෘතුග්‍රීසීන් මෙරට බෞද්ධ විහාරස්ථාන කඩා බිද දැමීය. රත්නපුර මහා සමන් දේවාලය විනාශකර බටුගෙදර හරහා ගනේගම විහාරය විනාශ කිරීමට පැමිණිමට පෙර එම විහාරයේ තිබූ ලීයෙන් තනනලද දාරුමය පිළිමවහන්සේ දෙනවක ගං පතුලේ සැඟවූ බව සඳහන් වේ. පෘතුග්‍රීසීන් විහාර භූමියට පැමිණ විහාර භූමිය තුළ කඳවුරු බැද සිටි බව සඳහන් වේ. ඉතාලි ජාතික ලෝ ප්‍රකට චිත්‍ර ශිල්පී ලුසියානෝ මරන්සි මෑතක දී කල පරීක්ෂණයකින් සොයාගත් විහාර ගෙයි බිත්තියක සිතුවම් කොට ඇති පෘතුග්‍රීසි සොල්ලාදුවකුගේ සිතුවමින් ඉහත කරුණ සනාථවේ.
රත්නපුර දිස්ත්‍රික්කයේ ගල්කැටයම් වලින් යුතු විහාරස්ථාන වලින් ගල් කැටයම් බහුලවම ඇති විහාරය ලෙස ද ගනේගම විහාරය හදුන්වා දිය හැක. විහාරයට පිය නැගීමේදී අනුරාධපුර, පොලොන්නරු යුගයන් නිතැතින්ම සිහිවේ. වර්ථමානයේ දී විශාල ප්‍රමාණයේ අවුකන පිළිමයක් හා පොලොන්නරු ගල් විහාරයේ ඇති පිළිම වල අනුරූ ද ගනේගම අරමනපොල විහාරයේ දී දැකිය හැක.

 

ඓතිහාසික ගල්පොත්තාවෙල රාජමහා විහාරය

මෙම විහාරය පැල්මඩුල්ල විද්‍යාල මාවතේ පිහිටා ඇත. සිරිපා වන්දනා වාරය අවසානයේ ශ්‍රී සුමන සමන් දෙවියන්ගේ ආභරණ හා දේව ප්‍රථිමාව මෙම විහාරස්ථානයේ තැන්පත් කරන අතර, නැවත ශ්‍රී පාද වන්දනා වාරය ආරම්බය සඳහා දේවාභරණ හා දේව ප්‍රථිමාව ශ්‍රී පාදස්ථානයට වැඩමවීම සිදුකරන්නේ මෙම ඓතිහාසික ගල්පොත්තාවෙල රාජමහා විහාරයේ සිටයි.

පිවිසුම :- ඇඹිලිපිටිය - රත්නපුර ප්‍රධාන මාර්ගයෙන් බදුල්ල දෙසට ගමන් ගන්නා විට පැල්මඩුල්ල නගරයෙන් වම් පැත්තට හැරී කුට්ටාපිටිය මංසන්ධියේ සිට විද්‍යාල මාවතේ 500m පමණ ගිය තැනදී ගල්පොත්තාවෙල රාජමහා විහාරය හමු වේ.

 

පැල්මඩුල්ල ඓතිහාසික රාජමහා විහාරය

මුළු සිරිලකම ආලෝකමත් කරමින් නූතන වංශයේ මහා ප්‍රඥා ප්‍රදීපය දැල්වූ හුදෙකලා පහන්සිල පැල්මඩුල්ල ඓතිහාසික රාජමහා විහාරයයි. මීට අඩසියවස් 03ට පෙර මෙම ස්ථානයේ සිදුවූ ඓතිහාසික සංසිද්ධිය වන තෙවන ධර්ම සංගායනාව නූතන අධ්‍යාපන හා ආගමික පුනරුදයේ අඩිතාලම ලෙස සැලකේ.
ඉතිහාස ලේඛනයන්ට අනුව ගිරුවාපත්තුවේ සිට පැමිණි කපුගංකන්දේ සිල්වතා එවකට පාලකයින්ගෙන් අවසර ගෙන වල් බිහිවූ කොටවෙහෙර පදිංචියට සුදුසු ලෙස පිළිසකර ගෙන ඇත. ඉන් කලකට පසු ඔහුගේ මළනුවන් ගෙන්වා ‘‘පැල්මඩුල්ලේ සිල්වතා’’ ලෙස පැවිදි කොට ගෙන මෙම ස්ථානය පන්සලක් කොට ගත් නිසා ඊට පැහැදුනු විජය රාජසිංහ රජු මෙම විහාරයට පැල්මඩුල්ල ගම්වරය පිදු බව සඳහන් වේ.
සීතාවක රාජසිංහ රජු විසින් මීට වසර 174 පමණ පෙර ආඬි පරේවරුන්ට හිමිකර දී තිබූ ශ්‍රී පාදස්ථානයේ පාලන බලය නැවත රාජ්‍ය අනුග්‍රහය මත ලබාගැනීමට මුල් වූයේ පැල්මඩුල්ල රජමහා විහාරයේ සඟ පරපුර බව ඉතිහාසයේ සඳහන් වේ.
ක්‍රි:ව 1867 දී මෙම විහාරය මුල්කරගෙන පැවතුණ තුන්වන ධර්ම සංගායනාව සමස්ථ ශ්‍රී ලංකාවේම නූතන අධ්‍යාපනික හා ආගමික පුනරුදයේ පසුබිම බව මනාව ඔප්පු වේ. ඒ ධර්ම විනයන් යලි නගා සිටුවීමත්, වරින් වර විෂම ලෙස ග්‍රන්ථාරූඪව තිබූ ත්‍රිපිටක ධර්මය යලි ශුද්ධ කරවා ග්‍රන්ථාරූඪ කිරීම වැදගත්කොට සැලකිය හැක.

 

ඓතිහාසික බුදුලෙන (බුජෙස්ලෙන) රාජමහා විහාරය

රත්නපුර - බදුල්ල ප්‍රධාන මාර්ගයේ ලෙල්ලොපිටිය හන්ඳියෙන් වමට හැරි හෙට්ටිකන්ද අතුරු මාර්ගයේ කි.මි. 03ක් ගමන් කල විට බුදුලෙන විහාරය හමුවේ. බුදුලෙනගල් විහාරය රාජාධිරාජසිංහ රජ සමයේ කරවන ලද පිළිගැනේ. වලගම්භා රජු සමයේ ඉදිකල බව පැවසුවද ඒ සඳහා හෙදිදරව්කල හැකි සාක්ෂි නොමැති තරම්ය. අතීතයේ මෙම ලෙන බුජෙස් ලෙන නමින් හඳුන්වා ඇත. අඩි 125ක පමණ දික් වූ ගල් ගුහා දෙකක් දකුණුපස ගුහාවේ විහාරය පිහිටා තිබෙන අතර, දහඅය රියන් සැතපෙන බුදු පිළිමයක් හා තවත් පිළිම රැසක් නිර්මාණ කර ඇත. කිසි දිනෙක නොසිදෙන ගල් ළිඳ ගුහාව තුල දක්නට ඇත. මෙම විහාරය ස්වභාව ධර්මයේ විශ්මිත නිර්මාණයක් ලෙස සැලකිය හැක.

පිවිසුම :- බදුල්ල රත්නපුර ප්‍රධාන මාර්ගයෙන් බදුල්ල දෙසට ගමන් ගන්නා විට ලෙල්ලොපිටිය ග්‍රාමයෙන් වමට හැරී ලෙල්ලොපිටිය හෙට්ටිකන්ද මාර්ගයට පිවිස බැරැණ්ඩුව ග්‍රාමයෙන් දකුණු පසට ඇති බුදුලෙන මාර්ගයට පිවිසීමෙන් බුදුලෙන රාජමහා විහාරය හමු වේ.

ලෙල්ලොපිටිය හංදියේ සිට මුළු දුර 5.2km

 

ඓතිහාසික සුදර්මෝදය පිරිවෙන

පැල්මඩුල්ල නගරයේ නගරයට යාබදව පිහිටි මෙම පිරිවෙන ඓතිහාසික අතින් ඉපැරණි පිරිවෙනකි. කතෝලික ගෘහ නිර්මාණ ලක්ෂණ හා බෞද්ධ ගෘහ නිර්මාණ ලක්ෂණ පිහිටි එනම විහාරය මෙම විහාරය බව ඉතිහාසය තොරතුරු සපයයි.