පැල්මඩුල්ල ප්‍රාදේශීය සභාවේ සංවර්ධන හා සැලසුම් අංශය

 

අනුකූලතා සහතික නිකුත් කිරීම

මෙම සහතිකය නිකුත් කරනු ලබනුයේ යම් ගොඩනැගිල්ලක් අනුමත මානක සැළැස්මට අනුකූලව ඉදිකර ඇති බව දැක්වීම සඳහාය. ගොඩනැගිල්ල ඉදිකළ පසු එහි පදිංචි වීමට පෙර ප්‍රාදේශීය සභාව වෙතින් මෙය ලබාගත යුතුය.

මේ සඳහා,
- කාර්යාලයෙන් ලබාගත් අයදුම්පතක් ඉදිරිපත් කළ යුතු අතර ඊට අමතරව ගොඩනැගිල්ලේ වර්ග අඩි ප්‍රමාණය අනුව ද යම් මුදලක් ගෙවීය යුතු වේ.
- වසරක් තුල ඉදිකිරීම් අවසන් කළ නොහැකි නම් කාලය දීර්ඝ කරගත යුතුය.
- අනුමත සැළැස්මේ වලංගු කාලය අවු. 03 ඉකුත් වී ඇත්නම් අදාල අනුමත සැළැස්මේ පිටපතක් සමග නව අයදුම්පතක් මගින් නැවත සැළැස්ම ඉදිරිපත් කළ යුතුය.
- තාක්ෂණ නිලධාරී හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිර්දේශ කිරීමෙන් පසු සැළසුම් කමිටුවට ඉදිරිපත් කරනු ලැබේ.
- කමිටුවේ අනුමැතිය ලැබීමෙන් පසු අනුකූලතා සහතිකය නිකුත් කරනු ලැබේ.

 

ඉඩම් පවරා ගැනීම

1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතට අනුව ප්‍රධාන මාවතක් නොවන යම් ප්‍රසිද්ධ වීථීයක් හෝ මංමාවතක් වෙනත් අතකට යොමු කිරීම, පුළුල් කිරීම, විවෘත කිරීම හෝ වැඩි දියුණු කිරීම සඳහා එමෙන්ම වෙනත් පොදු කටයුත්තක් සඳහා ඉඩම් පවරාගැනීම ප්‍රාදේශීය සභාව මගින් සිදු කරනු ලැබේ.

මෙහිදී ඒ වෙනුවට වෙනත් ඉඩමක් ලබාදීම/ මුදල් ගෙවීම හෝ එම ක්‍රම දෙක මගින්ම වන්දි ලබා දීමට ප්‍රාදේශීය සභාව එම අයිතිකරු සමග ගිවිසුමකට එළබෙති. එම ඉඩමෙ යම් ගොඩනැගිල්ලක්, තාප්පයක්, ගේට්ටුවක්, වැටක් හෝ යම් ගසක් පිහිටියේ නම් ඒ පිළිබඳව ද සලකා බලනු ඇත.

එමෙන්ම යම් අයෙක් ස්වකීය කැමැත්තෙන් පොදු කටයුත්තක් වෙනුවෙන් පරිත්‍යාග කරනු ලබන ඉඩම් ද ප්‍රාදේශීය සභාව මගින් පවරාගනු ලැබේ. මේ සඳහා අදාල තැනැත්තා විසින් සභාවේ සභාපතිවරයා වෙත තම කැමැත්ත ප්‍රකාශ කර ලිඛිත දැනුම්දීමක් සිදුකළ යුතුය.  පසුව සභාව මගින් ඒ පිළිබඳ ඉදිරි කටයුතු සිදුකෙරෙනු ඇත.

 

ගොඩනැගිලි සැලැසුම් අනුමත කිරිම

සභා බල ප්‍රදේශය තුළ කරනු ලබන සියලු ම ඉදිකිරිම් සදහා ප්‍රාදේශීය සභා අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය වේ. ගොඩනැගිලි ඉදිකිරිමේ දි නිසි පරිදි අනුමැතියක් ලබා ගෙන එය සිදු කිරිම මගින් අනවසර ඉදිකිරිම් හා මුඩුක්කු නිවාස ඇති වීම වැලකී යන අතර එ තුළින් විධිමත් සැලසුම් සහගත නගරයක් බිහිකළ හැකි වේ.

ප්‍රාදේශීය සභාව, නාගරික සංවර්ධන අධිකාරිය, ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය, මාර්ග සංවර්ධන අධිකාරිය හා අනෙකුත් රාජ්‍ය ආයතන මගින් නිකුත් කරන නිර්ණායකයන් මත සැලසුම් සකස් කර ගොඩනැගිල්ල ඉදි කිරිම සදහා නිල වශයෙන් අවසර ලබා දීම ගොඩනැගිලි සැලසුම් අනුමැතිය ලෙස හැදින්වේ.

ඉදිරිපත් කළ යුතු ලේඛන :-
- කාර්යාලයෙන් ලබා ගත යුතු අයදුම්පත්‍රය.
- ඉඩමට අදාල ඔප්පු පිටපත් දෙකක්
- ඉඩමට අදාල අනුමත බිම් සැලැස්මේ(මිනින්දෝරු සැලැස්ම) පිටපත් තුනක්
- මුල් බිම් කට්ටි සැලසුමේ පිටපත් දෙකක්
- යෝජිත ගොඩනැගිලි සැලසුමේ පිටපත් තුනක්
- ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයෙන් නිකුත් කරනු ලබන භූමි යෝග්‍යතා වාර්තාව.
- යෝජිත සැලැස්ම වර්ග මීටර් 300 ඉක්ම වන හෝ මායිම් අන්ධ බිත්තියක් (b/w) පවතී නම් වරලත් ඉංජිනේරුවරයෙකුගේ සහතිකය.

ඉහත ලේඛන සම්පූර්ණ කර කාර්යාලයේ විෂය නිලධාරි වෙත භාර දිය යුතුය. මෙහිදි යෝජිත ගොඩනැගිල්ලේ වර්ග මීටර් ප්‍රමාණය අනුව පෙරසැරි ගාස්තු ගෙවිය යුතුය.

අදාළ ලේඛන භාර දිමෙන් පසුව ගොඩනැගිල්ල ඉදි කිරිමට යෝජිත ඉඩම පරීක්ෂා කිරිම සදහා කලාප භාර කාර්මික නිලධාරි ස්ථානීය පරීක්ෂාව සිදු කර අදාළ සැලසුමේ හා ඉඩමේ යෝග්‍යතාවය පිළිබද ව වාර්තාවක් ඉදිරිපත් කරන අතර ඉන් අනතුරු ව අනෙකුත් රාජ්‍ය ආයතන වෙත (අවශ්‍ය වේ නම් පමණි) සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය, මාර්ග සංවර්ධන අධිකාරිය වෙත ඉදිරිපත් කර වාර්තා ලබා ගනු ලබයි.

අනතුරුව කාර්යාලයේ මාසික සැලසුම් කමිටුවට ඉදිරිපත් කිරිමෙන් පසු ව අනුමැතියට සුදුසුදැයි සලකා බලනු ලැබේ. සැලසුම් කමිටුවේ නිර්දේශය හිමිවිමෙන් අනතුරු ව සභාපතිතුමාගේ අනුමැතියට ඉදිරිපත් කරනු ලබයි. ඉන් අනතුරුව සංවර්ධන බලපත්‍රය හා අනුමත සැලසුම ලබාගත හැකිය.

මෙම අනුමත සැලැස්ම එක් අවුරුද්දක් සදහා පමණක් වලංගු වන අතර සංවර්ධන කටයුතු සිදු කර ගැනීමට අපොහොසත් වන්නේ නම් සංවර්ධනකරුගේ ඉල්ලීම මත ඉදිරි වර්ෂ 02 ක් සදහා කාලය දීර්ඝ කරගත යුතුය. ගොඩනැගිල්ල ඉදි කර අවසන් වු පසු අනුකූලතා සහතිකය ලබාගත යුතුය.

සැලකිය යුතුය.
ගොඩනැගිලි සැලසුම් අනුමැතිය ලබා නොගත් විට එම ඉදිකිරිම අනවසර ඉදිකිරිමක් වේ. දඩ මුදලක් අය කෙරේ. ගොඩනැගිල්ල කඩා ඉවත් කෙරේ.

 

ජලනල එළිමේදී මාර්ග පළුඳු කිරීමට අවසර ලබාදීම

- ඉල්ලුම්කරු ‍වෙත ජල සම්පාදන මණ්ඩලය මඟින් දෙනු ලබන ලිපිය ඉදිරිපත් කිරීම.
- අදාළ ලිපිය වරිපනම් අංශය වෙත ඉදිරිපත් කර වරිපනම් ගෙවන නම නිවැරදි දැයි පරික්ෂා කර ආදායම් පරීක්ෂක වාර්තාව ලබාගැනීම.
- තාක්ෂණ නිලධාරී විසින් අයකළ යුතු මුදල තීරණයට යොමු කිරීම.
- අදාළ ගාස්තු අයකිරීම.
- සභාපති / ලේකම් අත්සනින් අවසරලත් ලිපිය නිකුත් කිරීම

 

නොපවරවා ගැනීමෙ සහතික නිකුත් කිරිම

යම් ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයක් තුල පිහිටි ඉඩම් කොටසක් සුරක්ෂිතයක් ලෙස මූල්‍ය ආයතනයකට උකස් කර ණයක් ලබා ගැනීමේ දී එම ඉඩම ප්‍රාදේශීය සභාව විසින් පවරාගෙන නොමැති බවට වන සහතිකයක් නිකුත් කරනු ලැබේ. මෙය නොපවරවා ගැනීමේ සහතිකය ලෙස හදුන්වනු ලබයි.

මෙම සහතිකය ලබා ගැනීම සඳහා පහත සඳහන් සුදුසුකම් සපුරා තිබිය යුතු වේ.
- ඉඩම හෝ දේපල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල පිහිටා තිබිය යුතු වේ.
- ආදායම් බදු හිග තැබීමකින් තොරව ගෙවා තිබිය යුතුය.
- ඉඩම හෝ දේපල වීථි ‍ රේඛාවන් මත පිහිටා නොතිබිය යුතුය.
- මේ සඳහා රු. 1500.00 ක මුදලක් සභාව විසින් අයකර ගනු ලැබේ.

මේ සඳහා සැපයිය යුතු ලේඛන
- ප්‍රාදේශීය සභා කාර්යාලයෙන් ලබාගෙන සම්පූර්ණ කරන ලද අයදුම්පත.
- ඉඩමට අදාල ඔප්පුවේ හා බිම්කට්ටි සැළැස්මේ පිටපතක් බැගින්.

මෙම තොරතුරු ලබා දීමෙන් අනතුරුව ප්‍රාදේශීය සභාවේ සභාපති/ලේකම් විසින් අත්සන හා නිල මුද්‍රාව තබන ලද නොපවරවා ගැනීමේ සහතිකය නිකුත් කරනු ලැබේ.

 

බිම් කට්ටි අනුමැතිය ලබා දීම

නිවාසයක්/ගොඩනැගිල්ලක් හෝ යම් භෞතික ඉදිකිරිමකට පෙර එම භූමිය සංවර්ධනය කිරිමට (ඉදි කිරිම් සිදු කිරිමට) සුදුසුදැයි පරීක්ෂා කරනු ලබයි. ප්‍රාදේශීය සභාව, නාගරික සංවර්ධන අධිකාරිය, ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය, මාර්ග සංවර්ධන අධිකාරිය හා අනෙකුත් රාජ්‍ය ආයතන මගින් නිකුත් කරන නිර්ණායකයන් මත බිම් කට්ටියක් සදහා අවසර දෙනු ලැබේ.

බිම් කට්ටි අනුමැතිය ලබාගත් විට පළාත් පාලන ආයතනය හා නාගරික සංවර්ධන අධිකාරිය මගින් පනවා ඇති නීතී රීතී රෙගුලාසි වලට අවනත ව බිම් කට්ටිය සකස් කර ඇති බවට පිළිගැනීමක් පවතී.

සම්පූර්ණ කරන ලද අයදුම්පත සමග පහත සදහන් ලිපි ලේඛන කාර්යාලයට ඉදිරිපත් කළ යුතුය.
- මිනින්දෝරු සැලැස්මේ පිටපත් තුනක් (මෙම පිටපත් මිනින්දෝරු තැන විසින් සහතික කළ යුතුය.)
- මිනින්දෝරු සැලැස්මට අදාළ ඔප්පු පිටපතක්
- කට්ටි කරන ලද ඉඩමක් නම් අනුමත මූලික සැලැස්ම ඉදිරිපත් කළ යුතුය.
- මුල් කට්ටි සැලැස්ම.
- ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයෙන් නිකුත් කරනු ලබන භූමි යෝග්‍යතා වාර්තාව.

අනුමත කිරිමේ දි සැලකිලිමත් විය යුතු කරුණු:-
- මිනින්දෝරු සැලැස්ම, ඉල්ලුම් කරන දින සිට අවුරුදු 10 ක් ඇතුලත ඇද පිළියෙල කර තිබිය යුතුයි.
- ඉඩමට අදාළ මාර්ග රක්ෂිත
- ඉඩමේ මායිම්
- ඉඩමට අදාළ ගංගා රක්ෂිත
- ඉඩමේ ජල ප්‍රවාහන ක්‍රමය
- විදුලි රැහැන් පද්ධති
- ඉඩමේ පිහිටා ඇති ගොඩනැගිලි

 

මාර්ග නම් කිරීම

යම්කිසි මාර්ගයක් නම් කිරීමට අවශ්‍ය වූ විට ඒ සඳහා පාදකවන හේතූන් සඳහන් කර මාර්ගයේ පදිංචි කරුවන්ගේ අත්සන් සහිතව ලිඛිත ඉල්ලීමක් සභාපතිවරයා වෙත ඉදිරිපත් කළ යුතු වේ.

සභාවේ යෝජනා සම්මත වීමෙන් අනතුරුව මාර්ගය මිනුම් කිරීම හා ඒ පිළිබඳ තොරතුරු සොයා බැලීම විරෝධතා කැඳවීම අමාත්‍යවරයා වෙතින් ඒ සඳහා අනුමැතිය ලබාගැනීම ආදී නම් කිරීමට අවශ්‍ය ඉදිරි කටයුතු ප්‍රාදේශීය සභාව මගින් සිදුකෙරෙන අතර අනුමැතිය ලබාගැනීමෙන් අනතුරුව ඒ පිළිබඳව දැනුම්දීමක් සිදුකෙ‍රේ

 

මාර්ග පවරා ගැනීම

යම්කිසි මාර්ගයක සංවර්ධන කටයුතු සභාව මගින් සිදු කිරීම සඳහා අදාල මාර්ගය ප්‍රාදේශීය සභාව වෙත පවරා ගත යුතුය. ප්‍රාදේශීය සභාව විසින් මාර්ගයක් පවරා ගැනීමේ දී ඒ සඳහා අවශ්‍ය කටයුතු සභාව මගින් ම කරනු ලබන අතර මාර්ගය දෙපස පදිංචිකරුවන් හා සම්බන්ධ වී එම කටයුතු සිදු කෙ‍රේ.

එමෙන්ම මාර්ගයේ පදිංචිකරුවන්හට ස්වකීය කැමැත්තෙන් ද සභාව වෙත මාර්ගය පවරා දීම සිදුකළ හැක. එහිදී මාර්ගයේ පදිංචිකරුවන්ගේ අත්සන් සහිත ඉල්ලීමේ ලිපියක් සභාපතිවරයා වෙත ඉදිරිපත් කළ යුතුය. එවිට සභාවේ යෝජනා ස්ථිරත්වයෙන් පසු මිනුම් කිරීම, විරෝධතා කැඳවීම ආදී ඒ සඳහා අවශ්‍ය ඉදිරි කටයුතු ප්‍රාදේශීය සභාව මගින් සිදු කෙරෙනු ඇත.

විවිධ සංවර්ධන කටයුතු

මෙම බල ප්‍රදේශය නියෝජනය කරනු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා පළාත් සභා මන්ත්‍රීවරුන් වෙත වාර්ෂිකව ලැඛෙන ප්‍රතිපාදන වලින් ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය වෙත වෙන් කෙරෙන අරමුදල් වලට අදාල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ බලධාරිත්වය හිමිවන්නේ ප්‍රාදේශීය සභාවටය. එමේන්ම මහජන ඉල්ලීම් මත ප්‍රාදේශීය සභාවේ යෝජනා සම්මතයකින් අනතුරුව සභාවේ පොදු අරමුදල් යොදා ගනිමින් සිදු කෙරෙන විවිධ ව්‍යාපෘතීන් ද ප්‍රාදේශීය සභාව මගින් ක්‍රියාත්මක කෙ‍රේ.

මෙහිදී ප්‍රාදේශීය සභාවට අයත් සියළුම.
- මාර්ග
- පොදු ළිං
- ප්‍රජා ශාලා
- පුස්තකාල
- ආදාහනාගාර
- ක්‍රීඩා පිටි
- පැති බැමි
- වෙළඳපල ගොඩනැගිලි
- සභාවට අයත් අනෙකුත් පොදු ගොඩනැගිලි
ආදියෙහි ඉදිකිරීම හා නඩත්තු කරමින් පවත්වාගෙන යාම ප්‍රාදේශීය සභාව මගින් සිදුකෙ‍රේ. එමෙන් ම කාලීන වශයෙන් වැදගත්වන විවිධ සංවර්ධන ව්‍යාපෘතීන් සකස්කොට ක්‍රියාත්මක කිරීම ද මෙම ප්‍රාදේශීය සභාව මගින් සිදුකරනු ලබයි.